RSS

තාරා දඩයමේ

ඔන්න දවසක් දොස්තරල හතරදෙනෙකුයි එක ඉන්ජිනේරුවෙකුයි ගියා තාරා දඩයමේ..
මේ දොස්තරල අතරෙන් එක්කෙනෙක් සර්වාංග වෛද්‍යවරයෙක්, තව එක් කෙනෙක් ළමා රෝග විශේෂඥයෙක්, එක්කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක්, අනෙක ශල්‍යවෛද්‍යවරයෙක්..

දඩයමේ ගිහින් ටික වේලාවක් ගත වෙනකොට කට්ටිය දැක්ක ඈතින් කුරුල්ලෙක් වේගයෙන් පියාඹගෙන යනවා. මුලින්ම ඌට වෙඩිතියන්න ඉතිරිපත් වුණේ සර්වාංග වෛද්‍යවරයා. තුවක්කුව එහෙම මානලා එල්ලය අරගත්තටත් පස්සෙ මෑන් මෙහෙම කියන්න ගත්තා
"මටනම් ෂුවර් නෑ මූ තාරාවෙක්ද කියල. ඒ නිසා වෙඩි තියන්න කලින් මම සෙකන්ඩ් ඔපීනියන් ගන්න ඕන" (ඔයාල දන්නවනේ වී.පී.ල හැම තිස්සෙම සෙකන්ඩ් ඔපීනියන් ගන්න ස්පෙෂලිස්ට් කෙනෙකුට යොමු කරනවනේ) මෙහෙම කියල බලනකොට කුරුල්ලා ආපු වේගෙන්ම යන්න ගිහින්.

ඊලඟට ටික වෙලාවකින් තව කුරුල්ලෙක් පියාඹගෙන එනව දැකපු ළමා රෝග වෛද්‍යවරයා තුවක්කුව අතට අරගත්තත් වෙඩිතියන්නෙ නැතුව කල්පනා කරන්න වුණා.
"මූ නම් තාරාවෙක් තමයි. ඒත් අනේ මූට පැටවු ඉන්නවද දන්නෙ නැහැ" කියල මෙහෙම හිතන අතර වාරයේදී ඒ කුරුල්ලත් ඔළුවට උඩින් ඉගිලිලා ගියා.

කුරුල්ලො දෙන්නෙක්ම අතඇරුනට පස්සෙ වැඩේට බැස්සෙ මනෝවෛද්‍යවරයා . මෑන් තුවක්කුව අහසට දික්කරගෙන ටික වේලාවක් සිටියේ සූදානම් ශරීරෙන්. මේ අතරේ පැයට කිලෝමීටර් හැටක විතර වේගෙන් කුරුල්ලෙක් පියාඹගෙන ආවා. මනෝවෛද්‍යවරයාට නම් ටක්කෙටම ෂුවර් මූ තාරාවෙක්මයි කියලා.
"මම දන්නව මේ කුරුල්ල තාරාවෙක් බව. ඒ වුනාට ඌ දන්න්වද දන්නේ නැහැ ඌ තාරාවෙක්ද කියල" එහෙම හිතන අතරේ ඒ කුරුල්ලත් තමන්ගෙ දිශාව වෙනස් කරල පියාඹගෙන ගියා.

දැන් කුරුල්ලෝ තුන් දෙනෙක්ම අතඇරුනා. මෙන්න බොලේ තව කුරුල්ලෙක් ඈතින් පියාඹගෙන එනවා. මුළු සිද්ධිය දිහාම හොඳින් බලන් හිටපු ඉංජිනේරුවා පැනපු ගමන් මනෝවෛද්‍යවරයා අතේ තිබුනු තුවක්කුව උදුරගෙන කිසි පැකිලීමක් නැතුව පියාඹගෙන ආපු කුරුල්ලට වෙඩි තිබ්බා.
වන් ෂොට් කුරුල්ල මරිල වැටුණා.

ඊට පස්සෙ ශල්‍යවෛද්‍යවරයා දිහාවට හැරුනු ඉංජිනේරුවා මෙහෙම කිව්වා.
"පොඩ්ඩක් ගිහිල්ල බලන්න ඌ තාරාවෙක්ද කියල"

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS